මො/මැදිරිය රාජ්‍යානන්ද මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

රිද්ම රූ සේයා ප්‍රාසාංගික මංගල්‍යය.

FB_IMG_1731565428549.jpg
FB_IMG_1731565428549.jpg

 

ඓතිහාසික රෝහණ රාජධානියේ අටදහස් රටේ කුඹුක්කන්ද නදිය අසබඩ කාවන්තිස්ස රාජ්‍ය සමයේ විසු දස මහ යෝධයන්ගෙන් හෙබි ථෙරපුත්තාභය යෝධයාගේ පා පහස ලද තේරප්පහුව රජමහා විහාරය ආසන්නයේ  පිහිටි කලුමැදිරිය ශාකයන්ගෙන් ඝහණය වූ ප්‍රදේශයකි.

මේ නිසාම අතීත මුතුන්මිත්තන් මෙම ප්‍රදේශයේ මැදිරිය නමින් හඳුන්වන ලදි. කල්ගතවිමත් සමග මෙම ප්‍රදේශයට කෘෂිකර්මික කටයුතු සඳහා පැමිණි පිරිස් මෙහි වාසස්ථාන පිහිටුවා ගනී. ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා යාමෙන් ඈත පිහිටි පාසල් කරා යාමට සිදුවිය. මෙය අසරණ දෙමාපියන්ට දරාගත නොහැකි කරුණක් වූ බැවින් ගමේ සියලු දෙමාපියන් එක්රැස්ව කතිකා කර ගෙන සෑම පවුලකින්ම රු.10/=ක මුදලක් එකතු කර 60*20 ඉලුක් සෙවිලි කර මැටිවලින් සාදාගත් ගොඩනැගිල්ලේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු (1960) 60 දශකයේ මැදිරිය විද්‍යාලය ඇරඹිණි.

මෙම පුන්‍ය භුමියේ දරුවන්ගේ අධ්‍යාපන පිපාසය නිවාලන්නට කිසිදු ආර්ථික ලාභ ප්‍රයෝජන නොතකා ස්වකැමත්තෙන් ඉදිරිපත් වුයේ ප්‍රදේශයේ ක්‍රියාශිලි තරුණයන් දෙදෙනෙකි. ඔවුන් නම් පියදාස පතිරණ හා එච්.එම්.සිරිසේන යන මහත්වරුන්ය. මෙම දෙපළ විද්‍යාලයේ නේවාසිකව වාසය කරමින් අධ්‍යාපන කටයුතු ගෙන ගිය අතර ප්‍රදේශවාසින් විසින් ගමෙන් එකතු කරන ලද ද්‍රව්‍ය වලින් ආහාර සපයා දෙන ලදි. එවකට මෙහි 20 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරා ඇත.

 

රජයට පවරා ගැනීමෙන් පසු මැදිරිය විද්‍යාලය

 

1960 සිට 1963.08.31 දක්වා කාලය තුළ ප්‍රදේශ වාසීන්ගෙන් නොමද සහාය ලබමින් ක්‍රියාත්මක වූ මැදිරිය පාසල 1963.09.01 වන දින රජයට පවරා ගන්නා ලදි. එවකට මුල් ගුරුවරයා ලෙස කටයුතු කරන ලද්දේ  ඩබ්.කොඩිතුවක්කු ගුරු පියාණන්ය. මුල්ම උපගුරුවරයා ලෙස පී.පියසේන ගුරු පියාණන්ය. මුල් අවධියේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය විය.

එවකට පාසැල් අංකය 2517 දිස්ත්‍රික් අංකය 46 වූ අතර පඩි ලැයිස්තු අංකය මො/වැ/3/2517/2 කාර්යාල ලිපි ගොනු අංකය U.B. 7—037 ලෙස දක්වා ඇත.

මුල්ම උපගුරුවරි ලෙස පොඩිමැණිකේ මහත්මිය 1964.01.06 වන දින වැඩ භාර ගන්නා ලදි.

ගොම මැටි ගෑ ඉලුක් සෙවිලි කළ ගොඩනැගිල්ලෙන් ඇරඹි මැදිරිය විද්‍යාලයට 1964දී  වසන්තය උදාවිය. එනම් පාසලට 100*20 ස්ථිර ගොඩනැගිල්ලක් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා වූ ඇල්බට් සිල්වා මහතාගේ ප්‍රතිපාදන මත ඉදිවිය. මෙම ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරදීම එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ ජි.වි.ජි.කළුගල්ල මැතිතුමාගේ සුරතින් සිදුවිය. ඒ වන විට ගුරු මණ්ඩලය 05ක් වූ අතර සිසුන් 130කින් සමන්විත විය. පසු කාලීනව මොනරාගල ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ අතර,  පහළ බාලාංශය හා ඉහළ බාලාංශය ලෙස පවත්වාගෙන ගොස් ඇත.

මෙම පින්බිම දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට විදුබිම ඉදිකිරීම සඳහා ඉඩම පරිත්‍යාග කරන ලද්දේ කේ.පි.ගුණදාස මවහතා විසිනි. මො/ප්‍රා/ආ/ නි අක්කර 05කින් යුක්ත ඉඩම පිළිබඳ විස්තර මෙසේය.

අංක 249 ගම් සැලැස්ම, කට්ටි අංක 03 දරණ කටුවේහේන්යායේ (අලුත්ආරාව) නැමති යාකුරාව ග්‍රාම සේවා වසමේ මැදිරිය ගමේ ඉඩමේ මායිම් ලෙස උතුරින් ඉඩම් සංරක්ෂක අඥා පනත යටතේ කේ.පි.සිල්වාට දී ඇති ඉඩමද, දකුණින් කරමැටිආර ද, නැගෙනහිරින් මැදිරිය ගමට යන පාර ද, බටහිරින් ඉඩම් මායිම් සංරක්ෂණ ආඥාපනත යටතේ කේ.පි.ගුණදාසගේ ඉඩම ද ආදී  මායිම වලින් යුක්ත විය.

ගුරු, දෙගුරු, සිසු ත්‍රිත්වය එක අරමුණක පිහිටා විදුහලේ උන්නතිය සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ඇරඹී මෙම විද්‍යාලය කනිෂ්ඨ ද්විතීක පාසලක් වීමට එතරම් කාලයක් ගත නොවුණි. ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරු මණ්ඩලය කෙමෙන් වර්ධනය වීමත් සමඟ 70වන දශකය වන විට ශිෂ්‍යත්ව විභාගගයෙන් හා අ.පො.ස. (සා.පෙළ) විභාගයන්ගෙන් උසස් ප්‍රතිඵල ලබාගන්නා අධ්‍යාපන කොට්ඨාසයේ දිප්තිමත් පාසලක් බවට පත්විය.

එච්.එම්.දිසානායක, මල්ලිකා දිසානායක යන අය මෙම විද්‍යාලයෙන් බිහිවු මුල්ම ශිෂ්‍යත්වලාභින් විය. ජාතික විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබාගන්නා ලද පාසලක් ලෙස ජනාදරයට පත්විමත් සමඟම එවකට මොනරාගල අධ්‍යාපන දිස්ත්‍රික්කයේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරි බ.ලි.චන්ද්‍රසේන මහතාගේ අවධානය හා නොමද සහාය විද්‍යාලය වෙත ලබා දීම තුළින් 70-80 දශක වන විට මහ විදුහලක් බවට පත්විය. මො/මැදිරිය මහ විදුහල ලෙසින් ප්‍රසිද්ධියට පත්විය.

80 දශකය වන විට මෙහි අ.පො.ස. (සා.පෙළ) කලා අංශයෙන් සිසුන් සිව් දෙනෙකුගෙන් අරඹන ලද අතර, උසස් තපෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මුල්ම ශිෂ්‍යාව වුයේ අරේ.එම්.විමලාවති මෙනවියයි. මෙම අවධියේ සිටි විදුහල්පතිවරයාගෙත් එච්.ඒ.එම්.සෝමපාල හා චන්ද්‍රසේන යන ගුරු පියවරුන්ගේ නොමද උත්සහය මත වානිජ අංශයද ආරම්භ විය. එම අංශයෙන් අ.පො.ස. (උ.පෙළ) සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළු වු මුල්ම ිෂ්‍යාවන් වුයේ එච්.ඒ.සුමනවති හා එස්.එම්.බන්දුමති මෙනවියන්ය.

1960 දශකයේ මෙම විදුහලේ සිසුන් 20 දෙනෙකුගෙන්  හා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වු ගුරුවරුන් දෙදෙනකුගෙන් ඇරඹුණද, 1960 දි රජයට පවරාගැනිමත් සමග සිසු ගුරු සංඛ්‍යාව නොමද වර්ධනයක් පෙන්නුම් කරන්නට විය 60 දශකයේ අග බාගය වන විට සිසුන් 206ක්ද, ගුරු මණ්ඩලය 08 දෙනෙක්ගෙන් ද යුක්ත වු අතර, 70 දශකය වන වතිට සිසුන් 369ක්ද, ගුරු මණ්ඩලය 27 දෙනෙක්ගෙන්ද සමන්විත විය.

 

මෙම විදුහලේ ඉතිහාසය දිප්තිමත් කාලපරිච්ඡේදයන්  ලෙස 70,80,90 දශකයන් හැඳින්වීමට මුලික වන්නා වූ කරුණු රාශියකි.

  • අ.පො.ස. (උ.පෙළ) කලා/වානිජ අංශයේ පන්ති ආරම්භ කිරීම. (1979)
  • ලී කබඩ් අනුසාරයෙන් විද්‍යාගාරයක් ආරම්භ කිරීම. (1973)
  • ඌව පළාතේම බාලදක්ෂ ජම්බෝරියක් ප්‍රථම වරට මෙම විද්‍යාලයේ ඇරඹීම. (1979-1980)
  • ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් විම.
  • සති අන්ත නේවාසික ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම. (1983-1987)


දිනෙන් දින දියුණුවට පත් වු අධ්‍යාපන සංවර්ධනය දෙස අවධානය යොමු කළ ප්‍රදේශයේ දානපතියකු වූ ශෂි ජේම්ස් අධිපති සෙනෙවිරත්න රාමනායක මැතිතුමාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් 80’*20’ ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කරන ලදී.

 

මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වීම

 

1960 දශකයේ අරඹා 1963 දී රජයට පවරාගත් මෙම විද්‍යාලය පහළ බාලාංශය හා ඉහළ බාලාංශය වශයෙන් අධ්‍යාපනය කටයුතු වල නිරත වු අතර, 80 දශකයේ මහා විද්‍යාලයක් බවට පරිවර්තනය විය. මෙම විද්‍යාලයේ විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ නොමඳ කැපවීම මත දක්ෂතා වෙනුවෙන් පිරිපුන් දුවා දරුවන් මෙම පුන්‍ය භූමියෙන් සිඝ්‍රයෙන් නිර්මාණය වන දුටු අධ්‍යාපන බලධාරින් 1995.02.22 දින සිට ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂගේ ඌප/අපිරි/I/II හා 1995.02.21 දිනැති ලිපිය මඟින් මො/මැදිරිය මධ්‍යම මහා විද්‍යාලය ලෙසින් උසස් කරන ලදි.

මෙම අවධියේදී විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලද එම්.ජේ.පි.හිඟුවක මහතා විසින් විද්‍යාලයේ නාමයට “රාජ්‍යානන්ද“ යන කොටස ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව ඌප/අපිරි/I/II  1995.07.05 දිනැති  ලිපිය අනුව මො/මැදිරිය රාජ්‍යානන්ද මධ්‍ය මහා විද්‍යාලය නාමය භාවිතා කෙරිණි.

 

වර්තමාන තත්ත්වය

 

1980 – 1990 දශකයෙන් පටන් විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) හා උසස් පෙළ පන්ති පැවතියද, විද්‍යාලයට අත්‍යවශ්‍යව පැවති විදුලි බලය ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතිය මඟින් රැ.4692/= ක මුදලකද් ලබාදීම මඟින් 1997 දි විදුලි බලය ලැබිණි. අ.පො.ස. (සා.පෙළ) සඳහා පෙනී සිටින දුවා දරුවන්ට අත්‍යාවශ්‍ය අංගයක් වු විද්‍යාගාර පහසුකම් වසර2000 වනතෙක් විධිමත්ව නොමැති  විය. මේ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලඥවරියක් වූ සුමේධා ජි. ජයසේන මැතිණියගේ අවධානය යොමු විමත් සමග 2000.02.18 වන දින මො/මැදිරිය රාජ්‍යානන්ද ම.ම. විද්‍යාලයට මධ්‍යම ප්‍රමාණයේ විද්‍යාගාරයක් ලැබුණි.

පසු කාලයේදි පහත වෙනස්කම් වලට  පාසල භාජනය විය.

  • 2012.07.10  පැරණි පරිගණක විද්‍යාගාරය ආරම්භ කිරීම.
  • 2012.01.20 ද්විතීක පාසල් 1000 සඳහා විදුහල්පතිවරු පත් කිරීම.
  • 2014.09.01 මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම හා උසස් පෙළ විෂය ධාරාවට විද්‍යා ගණිත විෂයයන් ආරම්භ කිරීම.
  • 2014.02.07 ප්‍රාථමික විද්‍යාගාරය වෙන් කිරීම.
  • 2015 දී ස්ථිර පුස්තකාල ගොඩනැගිල්ලක් පිහිටු වීම.
  • 2016.09.21 විදුහල්පති තුමිය විශ්‍රාම ගැනීම හා නව විදුහල්පති වශයෙන් ඒ.ජි.සුමනපාල මහතා වැඩ භාරගැනීම.
  • 2017.12.07 විදුහල්පති ඒ.ජි.සුමලපාල මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් (රු.1600000.00 ක මුදලක් වියදම් කර) බුදු මැදුරක් ඉදිකිරීම.

උසස් පෙළ සියළුම විෂයන් ධාරාවන්ගෙන් විශ්ව විද්‍යාල වරමි ලබා ගැනීමත් වර්තමානයේ සිදු වූ තවත් සුවිශේෂි අධ්‍යාපනයේ ප්‍රබෝධයකි.